Friday, February 20, 2015

මේඛලා

පරණ ඇද යට තිබී
මණිමේකලාවක් සම්බවිය
එහි දිස්න අඩුවී
මුතු ද ගිලිහී තිබිණ
ඔපදමා රෑ හොරෙන්
එය ඔතාගෙන බැලිමි
අගල් හතරක් පහක්
දිගින් අඩුවී තිබිණි
පහන් දැල්ලට ළංකර
එහි දිස්න සොයන සඳ
ගාංචුව ලිහිල්වී
විදගෙන අතැගිල්ල
වැටිනි ලේ බිදු කීපයක්
මේකලාවෙන් පිටට
ආහ්....
මගේ කඬහඬ
වෙනස්වී
ඇගේ කටහඬ රැව් දින...

Wednesday, February 18, 2015

උඹ

උඹ
උඹ
උඹ
ඔව්
උඹ තමයි
ගලන්න කියා
නතරවුනු ලිද
මං
ගලලා
ගලලා
ගලලා
මූදටම ගියා
උඹ
මට ගලන්න කියා
මට හොරෙන්
ගමේ
නතරවුනා
ඌ එයි දැන්
උඹ ළඟට නාන්ට
උඹ
උඹ
උඹ මේ අහපන්
මං නතරවුනේ

ලිද ඇතුළට අදින්ට
පරණ  තරහක් මකන්ට
ඉදින් ඩින්ගක්
මම ආපහු ගලන්ට
මුහුද කරා ඇදෙන්ට
පමාවෙලා හිටින්ට

Monday, February 16, 2015

මං දැන් වැන්දඹුවක්

මම එතී
දළු දමමින් සිටි කලෙක
මා බදාගෙන සිටි
ගසට
අකුණු පහරක් වැදින

ඉගිලීම

ඉගිලී
යනු
පෙර
ගිලී
ගියා
දියඹක්
හැර
ඉරක්

භීතිකාව

විභාගෙකින්
මනිනවලු බං
අපේ මොළ ගෙඩි
උන් දන්නව ද බං
මනින්ට
අපේ හද ගෙඩි
කියාපන්
හදගෙඩි මනින
ප්‍රශ්නාවලිය
හදන්ටයි කියා
බුද්ධිය මැරී වැටුනු දා
භාවය දිනාගති
ලකුණු සියයම

Monday, February 9, 2015

10.රෑහියගේ විලාපය

රෑට නිදන්ටවත්
හැටියක් නෑ මට
කියමි
දහවල
රිදවුනු
සියලු දෙය
කියා වෙහෙස වූ කල
මැරී වැටෙමි
අතු පාමුල
පසුදාට
උන් පැමිණ
ගිලදාවි
මා සිරුර.

9.සිරකාරියගේ විලාපය

සිර ගෙයක
මැටි ඇතිලියක
ඉදෙනවා
මම
අම්මා අප්පාට
බාලයොන්ට
පිරිමි යැයි මෙහි සිටින
පොන්නයින්ට
කන්ට
කිරි බතක් වෙලා
මගේ කඳුළු
ලුණු මිරිසක් වෙලා
මනසින්
ඊතලයක් ගෙන
මනසින්ම
විදිමි මම
ඊතලය බැගින්
අම්මාට අප්පාට
පොන්නයින්ට
තව
මට
මානසිකව වද දෙන
සියල්ලන්ට
හිත් පිත් නැතිනම් උන්ට
මට හිත් පිත් තිබී
කුමට ද
සිරගෙයක
සිරකාරියකි මම
මානසිකව මරා
මානසිකව
මිය ගොස්
සිරගතවුනු...

Thursday, February 5, 2015

8.නිම්නැතිය

නිම්නැතිය
නුඹ පුසුඹ
දුරදිගය
හෙට නුඹය
කුඹ ගසක
වාතලය
නිම්නැතිය
පෙම් සයුර
ඉතින්.....
උඹ ඔය හැටි
අඬන්නේ ඇයි
මොකෝ බං
මං යන්නේ
මූදුකරේට මිස
ඒරොප්පෙට යෑ
අනේ......
ඒරොප්පේ
කොහි වෙද
ක්ෂිතිජ ඉම
පෙනෙනවිට
හිමි සඳුනි
ධීවරිමි
නොයන්
දිය
නිම්නැතිය

7.සුරය

මුලාවේ
අසරණකමේ
එකම
නූගත්
සම්පත
හිත හදන
මගෙ සුරය

Wednesday, February 4, 2015

6. දර මිටි

5.බටකොල

අහේනියි තමයි බං
විශ්ණු දෙයියෝ
බට කොල
කෑවානම්
උඹ කාපන්
තණකොල
අප්පච්චී බැණවැදෙයි
අනේ මේ
ආවා මාත්
ඔහේ එක්ක
වංසේ කබල්ගාන්න
මං යනවා
යස ඉසුරු ඇති
මහමුදලිගෙ
බංගලාවට
උඹ වගේ ද
අඩු තරමේ
කන්නවත් ලැබෙයි
මං අහුලාගෙන
මෑ ඇටයක්
සිටවා වතුර දමා
නිදාගමි
මං දන්නවා අම්මේ
උඹ හෙට යන්න කලින්
මෑ ඇටේ පැලවෙලා
මෑ වැල ලොකුවෙලා
අපි ඔක්කොම අරන්
දිවිය ලෝකේ යයි...

3.රිදී අරුංගල

රිදී අරුංගල
උකස් තියා අද
මා යන මඟ හිඳ
සිතුවෙමි මේ ලෙද

කරාබු නැටි මල
මගෙ කන් පෙති මත
දඟකල හෙටදින
සිංහයෙකුව හා
යමි ගල් ලෙනකට

ගල් ලෙන බිඳලා
ලෙන් දොර හැරලා
ඌ හා වාසෙන්
උපදින පුතෙකුට

කියමි මම

ඇර ඇත ගල් ලෙන
පිටවී යනු පුත
රන් මුතු අභරණ
ඇත වගුපුරවර

සිටු මැදුරේ රජ
හා සටනට වැද
ගෙන එනු මා පුත
ගත්තු අරුංගල

4.සමනල්ලු

ගමන
හෙමින් උවත්
ඇල්ලිය නොහැකියි
සමනළයා

2.මැටි ගෙදර

මැටි ගෙදර
බිත්තියට
කටක් මැවුනොත් කියයි
කුරුමිණියන්ගේ
රූන් හඬින්
මගේ පොත්
ඔක්කොම
වේයන් කෑ බව

1.කෙවිලී මං

නැතිවූ
කිසිවක් සොයා
තැනින් තැන
විලාපයේ කවිය කියන
අතරමංවූ
කෙවිලියයි මම